Monday, August 15, 2016

දායක සභාව

හවස පහමාර වෙද්දී
උපාසක අම්මා
සුදු ඇඳුමෙන් සැරසී
පන්සල් ගෙන යන
මල් තෙල් තිර ආදිය
ලෑස්ති කර
බලා සිටී ඇගේ දුව
ගෙදර එන තුරු
ඇයට සැදූ තේ එක
ඇගේ අතට දී
තම මුණුබුරුගේ අතින් අල්ලාගෙන
ඇය පන්සලට යයි සැමදා

රන්වන් වැලි කැට
ඇගේ පතුලට හීන් වේදනාවක්ද
සිතට සැනසීමක්ද ගෙන දෙයි
ඈ පන්සල් යන වෙලාවේ
වෙන කවුරුත් පන්සලේ නොසිටියි
හාමුදුරු නමකට වදින්නට
පුලුවන් වන්නේද ඉතා අහම්බෙනි

මල් පහන් පුජා කිරීමට පෙර
ඇය මළුව අතුගා
මල් ආසන පිහිදා
බිම දමා ගොස් ඇති
හිස් හඳුන් කූරු පෙට්ටි
ගිණිකූරු
පරවුණු වැටුණු මල්
හිස් තෙල් බෝතල්
කුණු සඳහා වෙන් කර ඇති
බාල්දියට දාන්නේ
ඇගේ මුණුබුරා බෝධිය වටා ඇති
බෝ කොල අහුලන අතරය
ඉන්පසු තෙල් තිර හඳුන්කූරු මල්
පුජා කර
ඇය නැවත ගෙදර බලා
පිටත් වී යයි කලුවර වෙන්න කලින්

පෝය දාට, පිංකම් ඇති දාට ඈ
සිය මුණුබුරාද
සමරදාට දියණියද සමග
පන්සල් ගියත්
එවැනි දාට
මළුව අතුගාන්නට
මල් ආසන පිරිසිදු කිරීමට
තවත් බොහෝ දෙනා සිටී
එවිට ඔවුන් සෙනඟ අඩු තැනක් සොයා
පරණ පත්තර පිටු බිම තියා
ඉඳගෙන බණ අසයි
ගාථා කියයි
භාවනා කරයි
සමහරක් දාට ගාථා බණ වලට වඩා
හාමුදුරුවන් කතා කරන්නේ
දායක සභාව ගැනයි
ඔවුන්ගේ නම් ඒ දිග ලැයිස්තුවට
එකතුවෙන්නේ නෑ
ඒ ඔවුන් පිං කැටේට දාන
කාසිය ඇරෙන්න
දාගැබට තීන්ත ගාන්න හෝ
පන්සලේ හැමතැනකටම කොඩි සැරසැලි වලට හෝ
ලොකු දාන මාන හෝ දීමට ඉදිරිපත් නොවෙන නිසාය
එවැනි පිනක් කිරීමට සල්ලි කොහෙන්ද
ඒ දුප්පත් උපාසක අම්මාට

ඉතින් ඈ පිලිතුරක් නොදී
නිශ්ශබ්දව සිටී
පොඩි මුණුබුරා අසන විට
"ඇයි අත්තම්මේ
අපේ නම් නොකියන්නේ?"

No comments:

Post a Comment