Tuesday, February 16, 2016

කුරුල්ලන් සහ ආදරය

"මම පොල්කිච්චෙක්
ඔයගේ ජීවිතේ ඉන්න එකම එක
පොල්කිච්චා මමයි,"
ඔහු කී විට ඈට මතක් වුනේ
පොඩිකාලේ ගෑයූ ගීතයක්
එක් පොල්කිච්චෙක් දුක ගේන බවත්
දෙදෙනෙක් සතුට ගේන බවත්
ඒ ගීතයේ කියවෙයි
ඔහු ඒ ගැන දැනගෙන මෙන්
ඇයට අනතුරු ඇඟවීමක් මෙන් කියයි නැවත
"මම තමයි ඔයාගේ ජීවිතේ ඉන්න එකම පොල්කිච්චා."

ගිරවෙක් වගේ ඔහු ඇය කියනදේ නැවත නැවත කියයි
මම ඔයාට ආදරෙයි
  මම ඔයාට ආදරෙයි
මම කවදාවත්ම ඔයාව දාලා යන්නේ නැහැ
  මම කවදාවත්ම ඔයාව දාලා යන්නේ නැහැ
මම ඔයාට ආදරෙයි
  මම ඔයාට ආදරෙයි
ඔහුට ඒවා වචන නෙවෙයි
එහි අරුත ගැන ඔහුන ගාණක් නැහැ
ශබ්ද විතරයි
ඇය කියන දේ ඒ විදියටම ගිරවෙක් වගේ ඔහු කියනවා

සුදුරෙදි හොරා කල හොරකම හංගන්නට විදියක් නැහැ
සුදුම සුදු ඒ රෙදි පටිය, කුරුලු ඇඟේම කොටසක්
පුහුල් හොරාගේ හොරකමද
ඔහුගේ කරෙන් දැනේ
ගිනිහොරා හොරකම්කල ගිනිදැල්ල
නොනිවී එලෙසම පවතී
මේ හැමදෙනාගේම හොරකමින් ගැලවෙන්න විදියක් නෑ ඔවුන්ට
එහෙත් ඔහුට පුළුවන් වුනා
ඇගෙන් හොරකම් කල ආදරය
එක පන්සිල් පදයක්වත් නොකඩපු විදියට
ලෝකයාගෙන් හංගාගෙන ඉන්න

පොඩිකාලේ ලොකු ලොකුවට උපන්දින සැමරුවා
දාස්ගණන් දීලා කේක්, බීම ජාති, පැණිරස කෑම ගත්තා
ඒත් ඈට දහතුණ ලබද්දී අම්මා කිව්වා
"මේ පාර අපි කුරුල්ලෙක් නිදහස් කරමු" කියලා
ඉතින් පරවියෙක්ව කූඩුවකට දාලා තියාගත්තා
උපන් දිනේ එනකන්, ඌව නිදහස් කරන්න
දහතුන ලබපු දා උදෙන්ම නැගිට, ඈ දුවගෙන ගියේ ඒ කූඩුවට
කුඩා කම්බි දොර ඇර "දැන් නුඹ නිදහස්" යැයි කීහ
කුරුල්ලා ඈ දිහා බලා සිටියා විතරයි
"හා දැන් ඉතින් යන්නකෝ"
ඒත් පරවියා කූඩුවටම වෙලා හිටියා
"ඕන දෙයක් කරගනින්" කියා ඈ ගෙදර ඇතුලට ගියා
පැයකට පසුව ඇවිත් බලද්දී කූඩුව හිස්
පරවියා යන්න ගිහින්
ඈට ඇඬුනා
අවුරුදු ගාණකට පස්සෙත් ඈ ඒ විදියටම අඬුවා
"යන්න. මාව දාල යන්න" කියා කෑගැහුවාට ඔහු ගියේ නැහැ
ඉතින් ඈ යන්න ගියා
බලපොරොත්තු ඇතුව ඈ නැවත ඔහු හිටපු තැනට එද්දී
ඔහු යන්ට ගිහින්

"ඇයි ඔයා ඕන මස් ජාතියක් කෑවට
කුකුල් මස් කන්නැත්තේ?"
ඔහු අසයි
ඇය සිනා සී කිව්වේ මෙපමණි
"මම නිසා කුරුල්ලන්ටත්
කුරුල්ලන් නිසා මටත්
වෙලා තියෙන දේවල් හොඳටෝම ඇති."

No comments:

Post a Comment